26 March, 2017

සාර්ථකත්වය


         මිනිසෙකු ලෙස මෙලොව ඉපදීම කණ කස්බෑවකු විය සිදුරෙන් අහස බලන්නාක් මෙනි යන්න ප්‍රස්තූතව ඇත්තේ මනුෂ්‍යආත්මයක පවත්නා වූ වටිනාකම,භාග්‍යය නිසාවෙනි. නමුත් ඒ භාග්‍ය අභාග්‍යයක් බවට පත්කරගත් අයද නැතුවා නොවේ.
ජීවිතය විඳින්න මිස විඳවන්න නොවෙයි .ජීවිතයට මුහුණදීම යනු පුද්ගලයකු ලබන සාර්ථකත්වයයි. එය ළඟා කර ගත යුත්තේ ද තමා විසින්මයි. නමුත් අත වනන විගස සාර්ථකත්වය අප කරා නොඑයි. සිදුවිය යුත්තේ අප සාර්ථකත්වය කරා යාමයි.ඒ පඩියෙන් පඩිය පඩිපෙළක් නගින්නාක් විලසිනි. මිනිසාගේ සාර් ථකත්වය තුළ අසාර්ථක වූ බොහෝ දේද තිබෙන්නට පිළිවෙන. නමුත් කොතරම් බාධක පැමිණිය ද ඒ සියල්ල ජයගැනීම නම් සැබෑ සාර්කතත්වයි.සිතන්න ගංගාවකට කොතරම් බාධක ඇතිවන්නනට ඇති ද? එහෙත් ගඟක් නතර නොවෙයි. කෙසේ හෝ මහා සාගරය හමුවනතුරු ගමන් කරයි. අපද ජීවිතයට කොතරම් බාධක පැමිණිය ද ඒ සියල්ලට හොඳින් මුහුණදෙමින් සාර්ථකත්වය කරා යා යුතුය.
ජීවිතයේ එක් අංශයක් වූ සාර්ථකත්වයට රැකියාව,අධ්‍යාපනය,ගතිගුණ,ශරීර සෞඛ්‍ය ආදී බොහෝ අංශයන් හී ක්‍රියාකාරීත්වය හේතුසාධක වේ. විශේෂයෙන් අධ්‍යාපනයේ අවශ්‍යතාවය දැඩිව බලපායි.පුද්ගලයා තුළ ධනාත්මක ආකල්ප,චින්තනය බිහිවීමෙහිලා පමණක් නොව බිහිකිරීමෙහිලා සාක්ෂරතාවය ඉතා වැදගත්ය.මන්ද සාර්ථකත්වයේ නිම්වළලු පුළුල් කර ගැන්මට නම් සියල්ලටම පෙර තමා පිළිබඳ විශ්වාසය ගොඩනගා ගත යුතුය.‘ඔව් මට කරන්න පුළුවන් , යන්න නිරන්තරයෙන් සිතිය යුතුය.තමා පහතට දමා කතා කිරීම සාර්ථකත්වය කරා තමාම යන ගමන පමා කරවන්නකි. සියල්ලන්ටම ජීවිතය ජයගැනීමට උසස්ම ක්‍රමවේදයන් උපතින්ම උරුම වන්නේ ද නැත.ජීවිතේ අමාරු තැනින් පටන් ගෙන ජීවිතය සාර්ථක කරගැනීම තමයි ඉතා වැදගත්.එවිට නිසි ඉල්ලකයකින් යුතුව  ඒ ඉලක්කය ජයගැනීමට කැපවීමෙන්,මනා පුහුණුවෙන්,මහා පෞර්ෂයෙන් පමණක් නොව දැනුමෙන් සන්නද්ධව පරිපූරණත්වයෙන් සන්නිවේදන හැකියාවෙන් යුතුව ආත්ම විශ්වාසයක් ගොඩනගා ගන්නට ද හැකිවනු නොඅනුමානය.නමුත් වර්තමානයේ මුදල මත මේ සියල්ලම යටපත්වීම සමස්ත සමාජයක් මුහුණදෙන්නා වූ ඛෙදවාචකයකි. ඉතින් ඔබත් ඔබේ සුන්දර හිත්වල තියෙන අහිංසක හීන ධනය ,බලය,වංචාව ඉදිරියේ මැරෙන්නට ඉඩ නොදී සියල්ල ඉදිරියේ ශක්තිමත්ව මැරුණු හීනවලට නැවත පණ දෙන්නේනම් ඉන් එහා ඔබට ලද හැකි සාර්කත්වයක් නොමැති තරම්ය. සැබෑ සාර්ථකත්වය නම් මෙයයි.

නිදහස් අධ්‍යාපනයේ මළගමද මෙි?


        වෛද්‍ය උපාධිය මුඳලට විකිණීමේ ජාවාරමෙහි පුරෝගාමී මාලඹේ සයිටම් ආයතනය අහෝසි කිරීමේ ඉල්ලීම් මුල්කොටගෙන දිවයින පුරා රජයේ වෛද්‍ය පීඨවල සිසුන් ගෙන ගිය අඛණ්ඩ සත්‍යග්‍රහට‍ පිළියමක් නොවූ තැන හෙන්චයියන්ගේ වුවමනාවන්ට අනුව  සයිටම් ආයතනයේ වෛද්‍ය විද්‍යාව හැදැරැ උපාධිධාරීන් අභියාචනාධිකරණයේ ගොනු කරනු ලැබූ නඩුවේ තීන්දුව මඟින් මෙම උපාධිධාරීන්ට  වෛද්‍ය සභාවේ ලියාපදිංචිය දෙන ලෙස නියෝග කරලීමත් සමඟ ඇවිලෙමින් තිබුණ නිදහස් අධ්‍යාපයේ ගිණිදැල් තවදවත් බුරබුරා නැගෙන්නට අද වන විට පටන්ගෙනය.
නිසි සුදුසුකම් නොලබා, මුදල පමණක් ම සුදුසුකම කොටගෙන සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන අල්ප සිසුන් පිරිසක් වෙත අනුකම්පා කරමින් කිඹුල් කඳුළු හෙළා බලධාරින් ,සුදුසුකම් සපුරා රජයේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය සිදු කරන දස දහස් ගණන් ශිෂ්‍යයින් තම දහදිය,රුහිරය ,කාලය කැප කරමින් ගෙන යන මේ සැබෑ අරගලය දෙස ඇස් කොනින් හෝ නොබැලීම ඉතා සෝචණීය ය.මේ වූ කලී නිදහස් අධ්‍යාපනයේ මළගමෙහි පෙරනිමිති නොවේ ද?
සරසවි ශිෂ්‍යයින්ගේ ඉල්ලීම් තම දෙපා මුල ගොඩ ගැසිි බොදවී යද්දි ධනය බලය ඉදිරියේ එයින් නෙැවති අරගල කරමින් ඉදිරියටම ඇදෙන ශිෂ්‍යය ප්‍රජාවට ඇතැම් අවස්ථාවන්හී දි බියවැද්දවීම් වලින් නොැවති මිලේච්ඡ ලෙස පාගා දමමින් ධනපති පන්තිය කටයුතු කරයි.නමුත් මේ මිලේච්ඡ ප්‍රහාර වලින් ඉලක්ක වනුයේ සරසවි සිසුන් හිස මතින් ගෙන ආ නිදහස් අධ්‍යාපනය සුරැකීමේ උදාරතර අරමුණ බව මුදල මත රජයන කාටකාටත් අමතකව ගොස්ය. මෙය නම් සැබෑ ඛේදනීය තත්ත්වයකි.
අරගලයේ සැබෑ අරුත නොදන්නවුන්ගේ නින්දිත ක්‍රියාවන් නිසාවෙන් අරගලය නොනවතිනු ඇත.නමුත් නැවත හෙට දිනයේ දී ද අරගලය හිස ඔසවනු ඇත. හෙටත් කඳුළු ගෑස්,රබර් උණ්ඩ අසරණ සරසවි සිසුවෙකුගේ හිස ඉලක්ක කොට වැටෙනු ඇත.නමුත් උගුර ලේ රසවෙනතෙක් කෑ ගසමින්  දිවියම පරදුවට තබා මේ කියන්නේ කුමක් ද යන වග ඉහළ පැලැන්තියේ ධනපතිවාදී අවි අතටගත්තවුන් පමණක් නොව පොලිසීයේ මහත්වරුන් ද සිතා බලන්නේනම් ඔබ සැම හා පෞද්ගලික තරහක් නොමැති නිදහස් අධ්‍යාපනයේ සුරැකුම්කරුවන් වන සරසවි ශිෂ්‍ය ප්‍රජාවගේම ඉලක්ක පෞද්ගලිකත්වය දිනවීම නොව නිදහස් අධ්‍යාපනය අනාගත පරපුරට ද සුරැකීම බව පසක්වනු නොඅනුමානය.