23 August, 2017

සංස්කෘතිය හා මිනිසා



එය, විවාදාත්මකව විචාරාත්මකව විවේචනාත්මකව විවිධ පැතිකඩ ඔස්සේ සාකච්ඡාවට ලක් වන්නකි. සංස්කෘතිය... වචනාර්ථයෙන් ගතහොත් සංස්කෘතියකින් තොර කිසිවක් නැත. යම් කුලකයකටම ආවේණික් වූ සංස්කෘතීත් විවිධාකාරයෙන් හමු වේ. එසේම එම පොදු කුලකය ව්‍යුක්තව ගෙන නිරීක්ෂණයට ලක් කළහොත්, ඒ තුළ විවිධ උප කුලක දක්නට ලැබේ. සාකච්ඡාවට ප්‍රවිශ්ටයක් වශයෙන් මෙහිදී ප්‍රථමයෙන් සංස්කෘතියේ ආරම්භය කෙරෙහි යොමු වෙමි. මන්ද යත් යම් කරුණක්, ගැටළුවක්, චින්තනයක් මෙ ඈ කුමක් වුව කවරාකාරදැයි නිවැරදි අධ්‍යයනය සඳහා ක්‍රමික ගලායාමක්, දැණුවත් බවක් අවශ්‍ය හෙයිනි.

සමාජ ආයතන අංශ කෙරෙහි අවධානය යොමු කිරීමේදී සංස්කෘතික, දේශපාලනික, ආර්ථික, සාමාජයීය ලෙස ප්‍රධාන වූ චතුර්විධ විභේදනයක් හඳුනාගත හැකිය. වෙන් වෙන්ව ගතහොත් මෙකී අංශයන් ඒවාට ආවේණීක සාධක පදනම් කරගනිමින් සාකච්ඡා කළ හැකි වුවද, මෙකී අංශ සියල්ල අන්‍යෝන්‍ය වශයෙන් සහසම්බන්ධතා දක්වන බවත්, එකකට එකක් ස්වාධීනව නොපවතින බවත් තත්‍ය වශයෙන් අවබෝධ වනු ඇත. කෙසේ වුවද මේ සංකල්පයන් සියල්ලම එකට දරා හිඳිනා මහා සාධකය වන්නේ සංස්කෘතියයි. මන්ද, සමාජය පොදු ඒකකයක් ලෙස ගත් කල්හි සමාජය යන ව්‍යූහය හඳුනාගැනීමේ කේන්ද්‍රීය සාධකය වන්නේ ඒ ඒ සමාජ පද්ධතීන් හා බැඳි සංස්කෘතික හර පද්ධතීන් වන හෙයිනි.

සංස්කෘතිය” යන්නෙහි ආරම්භය සලකා බලන කල්හි,
මිනිසා ස්වභාවික පරිසරයේ තවත් එක සත්වයෙකු පමණක් නොවී තම පරිකල්පනය මෙහෙයවමින් ක්‍රියාත්මක වන්නට ඇරඹූ දා සිට ඔහු සංස්කෘතියක් සහිත අයෙක් බවට පරිවර්තනය වූ බව කිව හැකිය. ඔස්ට්‍රොලොපිතේකස් මානවයාගෙන් ලද පන්නරයෙන්, ස්වභාවික පරිස‍රයේ වෙසෙමින් පරිසරයෙන් ලද අත්දැකීම් හා නිරීක්ෂණයන්ගේ අනුසාරයෙන්, හෝමෝ හැබිලිස් මානවයා අතින් යමක් (ආයුධයක් - මෙය සැකසීමකට ලක් නොකල හුදු ගලක් පමණකි) ග්‍රහණයට ගනිමින් ඉතා සරළ මට්ටමෙන් තම ආහාර අවශ්‍යතා සපුරාගන්නට යොමු වූ තැන අපට දක්නට ලැබෙන්නේ සංස්කෘතියයි. තවද ගුහා ‍ක්ෂේත්‍ර හෝ වේවා එළිමහන් භූමි හෝ වේවා වාසස්ථාන කොට ගනිමින් සමාජකණ්ඩායමක්’ ලෙස සැකසුණු ඔවුන්ගේ වව්‍යුහය තුල අපට දක්නට ලැබෙන්නේ සංස්කෘතියයි. එතැනින් ආරම්භ කළ ගමන, පරිසරය හා නිරන්තර ගැටෙමින් ගත කළ ජීවිතයේ පියවරෙන් පියවර ඔවුන් ලබා ගත් පන්නරය මත ලද අත්දැකීම් ඇසුරෙන් දෑත ක්‍රියාත්මක වීම මත සිදුවූ මොළයේ වර්ධනයත්, ඒ අනුවම පන්නරය ලබමින් සිය තාක්ෂණයේ පියවරෙන් පියවර අත් කර ගත් දියුණුවත් තුළ අපට පැහැදිලි නිගමනයකට එළඹිය හැකිය. එනම්...... කාලය හා කාලයට සාපේක්ෂව ලත් අවකාශය තුළ සංස්කෘතියද ප්‍රාථමිකම අවස්ථාවේ සිට ක්‍රමික වර්ධනීය යුග ගණනාවක් පසු කළ බවයි.

නිදර්ශනයක් වන්නේ එදා ෆ්ලින්ට් පතුරක් මුවහත් කර තනාගත් පිහි තලය පසු කාලීනව ලෝහමය මාධ්‍යයෙන් එළිදැකීමත්, එකී මෙවලමේ කාර්යයම අද වන විට විදුලි බලයෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන උපකරණ ඇසුරින් සිදු කර ගැනීමත් දක්වා වූ තාක්ෂණික මට්ටමේ ජයග්‍රහණයන් රැසක් කාලය හා අවකාශය ඔස්සේ ලබා තිබීමයි.

සංස්කෘතිය... එක ගොඩනගන ලද සංකල්පයකි (cඔන්ස්ටෘcටෙඩ් ඉඩේ). එහි නිර්මාපකයා මිනිසායි. එසේම එය තෝරාගන්නා (සෙලෙcටෙඩ්) ලක්ෂණයන්ගෙන් යුක්ත වූවකි. සමාජයකට හොඳ / නරක ලෙස වෙන් කරන ලද මේ තෝරාගැනීම් සිදු කරනුයේ එම සමාජයේම මිනිසා විසිනි. කාලය හා අවකාශය යන සාධකද්වය මෙහිදී නැවතත් උපුටා දක්වන්නේ නම්, අදාල තෝරාගත් ලක්ෂණයන් සෑම කාලයකටම අනුරූප වන්නේද යන පැනය මෙහිදී නගමි. මානවයා මළ කුණූ බුදින්නන් ලෙස ගත කළ අවධියේ සිය සංස්කෘතික ලක්ෂණයන් ලෙස තිබූ ඔවුන්ගේ තෝරාගැනීම් අදට ගැලපේද? ශිලා, ලෝකඩ, යකඩ යුගයන්හි පැවති සංස්කෘතික ලක්ෂණයන් අදට ගැලපේද? යටත්විජිත යුගයේ අප වැනි රටවල පැවති අතිශය මිශ්‍රිත සංස්කෘතික ලක්ෂණයන් අදට ගැලපේද? මෙහිදී මම මෙවන් පැනයක් අසමි.....අනාදිමත් කාලයක සිට පැවතෙන අපගේ සංස්කෘතික ලක්ෂණ මේවාය.....” ඇතැම්මු එසේ කියති. එකී අනාදිමත් යුගය කෙබඳුද? එම යුගයේ සංස්කෘතික ලක්ෂණ කෙබඳුද? ලක්ෂණ එසේම පැවතිනැයි ඔප්පු කළ හැකි සන්සන්දනාත්මක නිරවද්‍ය සාධක කවරේද? එම ලක්ෂණ අදටත් සමාජ භාවිතයේ පවතින්නේද?

මිනිසා සංස්කෘතික සත්වයෙකි.... අයෙක් එසේ කීය. මිනිසා දේශපාලනික සත්වයෙකි... තවත් චින්තකයෙක් එසේ කීවේය.... මිනිසා යනු කවරහුද.....? මිනිසා යනු කාලය හා අවකාශය අතර සිය කර්තව්‍යයන් පවත්වාගනිමින් පැවතෙන්නෙකි. මිනිසාගේ මූලිකත්වයෙන් සිදු වන සෑම ක්‍රියාවලියක්ම මතු නොව සොබාදහමේ සිදු වන සෑම ක්‍රියාවලියක්ම පවතින්නේ කාලය හා අවකාශය මතයි. එසේ නම් සංස්කෘතිය යන “කාලානුරූපව මිනිසා විසින් තෝරාගත් සංකල්පය” ස්ථිතිකයක්ව සදාකල්හි එක ලෙසම පවතීද? යන්න කෙරෙහි අවධානය යොමු කළ යුතුය.සංස්කෘතිය තුළ අප විවිධ අංශ හඳුනා ගනී. දේශපාලනය තුළද දේශපාලනික සංස්කෘතියක් වේ. ආගම තුළද ආගමික සංස්කෘතියක් වේ. සමාජය තුළද ඒ ඒ සමාජයන්ට ආවේණික වූ අනන්‍ය වූ සංස්කෘතික ලක්ෂණයන් වේ. ආර්ථීක ක්ශේත්‍රය තුළද එසේමය. එසේම වැදගත් ලක්ෂණය වන්නේ සංස්කෘතිය යනු හුදෙකලා වූවක් නොව, එක් එක් පැතිකඩ තුළින් විවිධ විෂම ලක්ෂණ සන්ධර්භගතව නිර්මාණය වූවක්ය යන්නය. කිසිදු සමාජයකටහුදෙකලා විය නොහැක. කිසිදු සමාජයකට වෙනයම් සමාජයක් ප්‍රතික්ෂේප කළ නොහැක. කිසිදු සමාජයකට තම සංස්කෘතික ලක්ෂණ සර්ව සම්පූර්ණයෙන්ම නෛසර්ගික සම්ප්‍රදා‍යන්ගේ පැවැත්මකැයි තර්ක කළ නොහැක. අයෙක් එලෙස කෙස් පැලෙන තර්ක උපුටා දක්වමින් තර්ක කළද නිසැකයෙන්ම එම තර්ගයන් විද්‍යෘත්මක බවින් දුරස්ථය. විචාරශීලීත්වයෙන් තොරය.

නූතන ලෝකයේ මහත් සීඝ්‍රගාමීව පැතිර යන සංකල්පයක් ලෙස සංස්කෘතීන් ‍මුහුන් වී එක් සංස්කෘතියක් බිහි වීම (හ්ය්බ්‍රිඩිzඅටිඔන්) හැඳින් විය හැකි කේන්ද්‍රීය සාධකයකි. උදාහරණ ලෙස බටහිරකරණය හඳුන්වමු. ආසියාතික ලෝකයේ සංස්කෘතියත් සමග බටහිර රටවල සංස්කෘතිය පොදුවේ ගෙන සලකා බැලුව හොත්, ඒ ද්විත්වය අතර පවතින පරතරය අති මහත්ය. ආසියාතික රටවල් බොහොමයකට සියවස් ගණනාවක් මකු නොව සහස්‍ර වර්ෂ ගණනාවක් ඔබ්බට දිවෙන සාධක සහිත විශීෂ්ට ශිෂ්ටාචාර ලක්ෂණයන් ඇත. එසේම ඔවුන් යුගයෙන් යුගය සිය ආවේණිකතා හැකි පමණ රුක ගනිමින් සිය දේශීයත්වයට අදාල, ආවේණික පැවැත්මක් නිරන්තරයෙන් වර්තමානයට ගෙන ආ‍හ. නමුත් යටත්විජිත පවත්වාගනිමින් ලොව පුරා බලය විහිදුවාලූ බොහොමයක් බටහිර රටවල්වල ඉතිහාසය ඉතා මෑතකාලීන වේ. එමතුද නොව ඔවුන්ගේ ‘ආගමික හා සමාජයීය ආකල්ප’ මත අතීත උරුම සංස්කෘතිය අනාගතය වෙනුවෙන් තත් ලෙසම ගෙන යා යුතු යැයි යන මතයෙන් බැහැර වූ ආර්ථික ප්‍රවර්ධනයට හා බලයට අදාල වූ  සංකල්ප විය. ආගම හා සමාජ සිරිත් විරිත් ප්‍රමුඛ කරගනිමින් පැවතෙන ආසියාතික රටවලට එකී මත බලයෙන් ඔබ්බවාලනු ලැබූ ඒවා විය. නමුත් ගෝලීයකරණය හමුවේ තත්වය සපුරා නව මගකට යොමු කෙරෙමින් පැවතෙන අතර, සමාජ සංස්කෘතික ආකල්ප විකසනයකට ලක් කෙරෙමින් එක් සංස්කෘතියක් එක් සමාජයක් යන තත්වය අද වන විට ඇති වී තිබේ.සියලු සංස්කෘතීන් එකට මුහුන් වී යම් දිනෙක එක් සංස්කෘතියක් ඇති වී නම් තත්වය කෙබඳුද.....? මෙය සාකච්ඡෘවට ලක් විය යුත් කරුණක් ලෙස දයිමි. මෙහිදී ආකර්ශණීය සංස්කෘතිය කුමක්ද, ආකර්ශණය වෙන සංස්කෘතිය කුමක්ද යන්න සලකා බැලුව හොත්, වැඩි විභවතාවක් දක්වන්නේ බටහිර සංස්කෘතිය කෙරෙහි ‍දියුණූ වෙමින් පවතින බහුතර රටවල් ගණනක් ආකර්ශණය වීම එනම් බොහොමයක් රටවල් බටහිරකරණයට ලක් වීමයි. සංවර්ධනය වෙමින් පවතින රටවල් අතරින් උදාහරණයක් ලෙස ලංකාව භාවිත කරමින් මෙකී කාරණය විමර්ශනය කරමු.

අතීතයේ ලංකාවේ ප්‍රධාන ආර්ථිකය රඳා පැවතියේ තේ, පොල්, රබර් ආදී වූ මුඛ්‍ය අපනයන භෝග කෙරෙහිය. නමුත් අද වන විට ඇඟලුම්, සංචාරක ව්‍යාපාරය ආදී තවත් බොහොමයක් ක්ෂේත්‍ර ආර්ථීකයේ ප්‍රමුඛතාව ගෙන ඇත. විදේශිකයන් මෙරටට ආකර්ශනය වන හේතු බොහොමයකි. (වෙනත් රටවලටද මෙසේමය). ඒ අතර, විවිධ ජන කණ්ඩායම් නිරීක්ෂණය, විවිධ ජන සමාජ, ඇදහිලි හා විශ්වාස, අතීත ගෘහ නිර්මාණ, භූමි දර්ශන, පුරාවිද්‍යාත්මක ඓතිහාසික වැදගත් සාධක නිරීක්ෂණය, ලාංකීය සමාජයේ විවිඡතා විශමතා කෙරෙහි දක්වන ආකර්ශනය මත සහ සුන්දරත්වය මත මෙහි ඇදී ඒම යන කාරණා සුවිශේෂීය. මෙකී කරුණූ විමර්ශනයේදී පැහැදිලිවම පෙනෙන්නේ මේවා ලාංකේය සංස්කෘතිය හා ඇදී බැඳී පවතින බවයි. (අවධානයට යොමු කළේ අදාලත්වය අනුව සංස්කෘතික සාධක පමණි).එසේ නම්, අද මෙවැනි රටවල පවතින සංස්කෘතික ලක්ෂණයන් මුලිනුපුටා දමමින් බටහිරකරණය අංශුවක් පාසා වැළඳගත්තේ නම්, එවන් රටවල ආර්ථිකය, පැවැත්ම කෙබඳු වනු ඇත්ද?නමුත් අපට මෙහි විරුද්ධ පාර්ශවය, එනම්, අපට නූතන ලෝකයේ විකසනයන් සමගින් අනවශ්‍ය සිරිත් විරිත් සහමුලින් බැහැරලමින් නිදහස් බැඳීම් රහිත මානව කොටසක් ලෙස ඒකීයත්වයකට පත් විය නොහැකිද? අපට ඒ සඳහා අයිතියක් නොමැතිද යන්න විමර්ශනය කළ හැකිය.සියලු රටවල් එකම සංස්කෘතියක් එකම සදාචාරයක් එකම පැවැත්මක් ඇති කර ගැනීම වරදක්ද.....?

යම් හෙයකින් සියලු රටවල් (උදාහරණයක් ලෙස) ඇමරිකාවක් වුවහොත්....... (සමාජ ආර්ථීක දේශපාලනික සංස්කෘතික ආයතනයන්ගේ පොදු ඒකීයත්වයක් නිරූපණය කරන සංස්කෘතික ලක්ෂණයන් පූර්ණය කරමින්) එවිට....., වෙනස් වෙනස් නම් වලින් හඳුන් වන එකමාකාරයේ පිරිසක් වෙසෙන භූමි තිබුණද, අතර එකදු හෝ වෙනසක් තිබේවිද? ඉන් ඔබ්බට, කවරාකාරයේ සංස්කෘතියක් ප්‍රධාන ආකර්ශනීයත්වයෙහි ලා අනුකරණය කරන්නේද?මෙහිදී මම නැවත මුලට යමි. එනම්......., සංස්කෘතිය යනු පුද්ගලයා විසින්ම පුද්ගලයා අකැමැති දේ බැහැර කර කැමති දේ ලං කර ගනිමින් සිදු කරන ලද තෝරාගැනීමකි. එකම් සංස්කෘතිය තෝරාගත් සංකල්පයකි.අප අප සතු දේ, අප රැකගෙන පැමිණි දේ බැහැර ලා ළං වන්නේ තවත් සංස්කෘතියකටයි. පාරම්පරිකත්වය හණමිටි සේ බැහැරලා ප්‍රතික්ෂේප කර අප වඩාත් සුදුසු ලෙස හා කාලෝචිත ලෙස සිතා වැළඳ ගන්නේ තවත් පිරිසක් සිය කැමැත්ත ලෙස තෝරාගත් සංස්කෘතියක් නොවේද?ඉතිහාසය පුරා සංස්කෘතිය එක බිඳකුදු නොවෙනස්ව පැවතියේයැයි අපට තර්ක කළ හැකිද?මම නැවත මෙය මතක් කරමි... සංස්කෘතිය යනු ස්තිථික නොව ගතික සංකල්පයකි. එය කාලය හා අවකාශය අතර තීරණාත්මක වෙනස්කම් දක්වමින් අඛණ්ඩ ගමනක නොනැවතී යෙදේ.මමය මගේය යැයි කෙතරම් ඇඳ බැඳ ගත්තද අපද නොදැනුවත්ව අප අපේයැයි පවසන සංස්කෘතිය තත්පරයක් පාසා විවිධත්වය හා මුහුව වෙනසකට ලක් වෙමින් පවතී.... දැනුදු....

05 August, 2017

ප්‍රේමය විවාහයෙන් කෙළවර වන ආදරයක් නොවේ....




ආදරය.........බොහෝ විට කෙළවර වෙන්නේ විවාහයෙන්... ඒ එදා........ ඒත් අද.... අද ආදරය කරන්නේ විවාහ වෙන්නමද.......අද අපේ සමාජ සංස්කෘතියත් ගොඩාක් දුරට බටහිර පන්නයට නැඹුරුවෙලා. ආදරය කියන්නේත් මේ සමාජ සංස්කෘතියේම කොටසක්නේ.....ඒ නිසා සමාජ සංස්කෘතියත් සමගම ආදරයන් බටහිර ක්‍රමයට නතුවෙලා. ඒ නිසා තමයි ආදරයේ කෙළවර විවාහය නොවන බවට බොහෝ තරුණ තරුණියන් හිතන්නේ. අද ආදරයට ඉලක්කයක් අරමුණක් නැහැ. ගමනක් තියෙනවා. ඒත් යන්න තැනක් නැහැ......ඒ වගේ තමයි ආදරයත්......ආදරයත් තියෙනවා.......ඒත් ඊට අරමුණක් හේතුවක්, ඉමක් කොනක් නැහැ......

කසුන් කල්හාරගේ ගැඹුරු හඬින් ඉතා සංයමයෙන් වගේම හැඟුම්බරව ගැයෙන මේ ගීය විරහව විඳින කාටත් පොදු වූවක්.

ඇරඹුමම කඳුළක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා...

මේ පෙම්වතා ගේ ආදරය පටන් ගන්නේම කඳුළකින්. ඒ කියන්නේ පටන් ගනිද්දීම ඒ ආදරයේ අවුලක් තියෙනවා....... ඉවරයක් දකින්නෙ නැහැ.......... ආදරයේ කෙළවරට කලින්ම ඈ ඔහු දමා යනවා.

අපේ ප්‍රවීන ගීත රචක කරුණාරත්න අබේසේකරයන්ගේ පුතා දිලීප අබේසේකර මේ ගීය ගැන කියන්නේ මෙවන් අදහසක්.

මේ සිංදුවට මහා විශාල නිමිත්තක් නැහැ. වර්තමාන ප්‍රේමයේ තත්ත්වය ගැනයි කියන්නේ. අද ආදරය කරන්නේ ඉවරයක් දකින්න නොවෙයි. අද අපි අත්දකින්නේ ඉලක්කයක් නැති ප්‍රේමය විවාහයෙන් කෙළවර වන ආදරයත් නොවේ.

දුක්බරව කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා...
අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා...

සාමාන්‍යෙයන් කවියක් නම් පද හතරක් තිබිය යුතුයි කියා පිළිගැනීමක් තියෙනවා. ඒක සම්මතයක්ම නොවේ. පද හතරක් නැතිනම් කවියක් සම්පූර්ණ වන්නේ නැහැ කියලා තමයි හිතන්නේ. අවසාන පදය නොතිබුණොත් ඒ කවිය අප්‍රබංසයක්. ඒ කතාව නිමිත්තක් කරගත් පද රචකයා සූක්සමව ගීතයට එය වහරයි.

ගීතයට අනුව මේ පෙම්වතාට ඔහුගේ පෙම්වතිය අපබ්‍රංසයක් ලියා දීලා. ඒක දුක්බර කවියක් ඒත් පද පෙළේ අඩුවක් තියෙනවා. හරියට තේරවිල්ලක් වගේ අර්ථය තියෙන්නේ අන්තිම පදයේ. ඒත් ඈ ඒ පදය ලියා නැහැ. අවසාන පදය තෝරාගන්න කියා ඇය ඔහුගෙන් ඈත්ව ගිහින්. ඔහුට මෙය ප්‍රෙහළෙිකාවක් ඔන්න ඔය ආකාරයට තමයි අද පෙම්වතුන් ආදරය කරන්නේ යම්කිසි දුරකට එනවා ඒත් ඒ ඇවිත් අතරමැද නතර වෙනවා.

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා....

මේ විදිහට ගියොත් අවසානය ශෝකාන්තයක් වන බව ඇය දන්නවා. ඒ ශෝකාන්තයට මුහුණ දෙන්න ඇය අකමැතියි. දැන දැනම ශෝකාන්තය වෙතට ගමන් කරන්නේ ඇයි....එසේ සිතන පෙම්වතිය ඔහුව අවසානයක් නොදකින තැනක දමා පිටව යනවා.

අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා...

අද තියෙන්නේ මේ වගේ ඕපපාතිකව පටන් අරන් නිමාවක් නොදකින ආදරයක්. ඒක තමයි මේ ගීයට සැබෑම නිමිත්ත.


ගුවන‍‍ේ පැතිර යන ඩ්‍රෝන් උන්මාදය



වර්තමානය වන විට වැඩිපුරම අලවෙි වන ක්‍රිඩා භාණ්ඩ අතරට එක්වු අලුත් ම අමුත්තා මෙයයි. මෙය දුරස්ථ පාලකය‍ෙන් හැසිරවිය හැකි යානාවකි. වර්තමානය වන විට දහස් ගණන් ඩ්‍රෝන් යානා ගුවනට අලුතින් එක් ව‍ෙමින් පවතිනවා. ගුගල් ස‍ෙවුම් යන්ත්‍රය‍ෙහි (Google Search Engine ) "I want to buy a"  යැයි සටහන් කළ විගසින් කාර් හා නිවාස වලට පසු තුන්වැනි විකල්පය ල‍ෙස ලබා ද‍ෙන්න‍ේ ඩ්‍රෝන් යානා වීම ම‍ෙහි ජනප්‍රියත්වය අපූරුවට පැහැදිලි කරනවා.

  
ඩ්‍රෝන්  යානා භාවිතය දැන් ලොව පුරා පැතිර යන උන්මාදයක්‌ බවට පත් වී හමාරයි. ‍ඩ්‍රෝන් යානා කියූ සැණින් අපේ සිහියට නැඟෙන්නේ හමුදාවන් ඔත්තු බැලීමට හෝ ප්‍රහාර එල්ල කිරීමට හෝ භාවිත කරන නියමුවන් රහිත ගුන් යානා (UAV) වුණත් මේ ඩ්‍රෝන් යානා ඊට වඩා සරල, හුරුබුහුටි, විනෝදජනක ඒවා වනවා. සිතැඟියාවන්ට අනුරූප ව අහසෙහි ඔබ මොබ යෑවිය හැකි මේ යානා දුරස්‌ථ පාලකයෙන් ක්‍රියාත්මක වන හෙලිකොප්ටර් යානාවලට වඩා වෙනස්‌ වන්නේ ඒවා කුඩා තටු හතරකින් සමන්විත වීම නිසයි.

මීට අමතර ව තටු හයේ හා තටු අටේ යානා ද දකින්න පුළුවන්. කුඩා ගේ කුරුල්ලකු ගේ ප්‍රමාණයේ සිට දැවැන්ත රාජාලියකු ගේ ප්‍රමාණය දක්‌වා විවිධ ප්‍රමාණයේ හා විවිධ හැඩයේ ඩ්‍රෝන් යානා දැන් වෙළෙඳපොළේ මිල දී ගත හැකියි. (මෙරට වෙළෙඳපොළේ ද දැන් දැන් ඩ්‍රෝන් යානා දකින්නට පිළිවන්). කුඩා ක්‍රීඩා හෙලිකොප්ටර් යානාවලට වඩා ස්‌ථාවර හා සුමට පාලනයක්‌ ඇති මේ යානා විශේෂය සාපේක්‌ෂ ව මිලෙන් අඩු වීම එහි ජනප්‍රියත්වයට එක්‌ හේතුවක්‌. එහෙත් ඩ්‍රෝන් යානා අතිශය ජනප්‍රිය වීමට එක්‌ ප්‍රධාන හේතුවක්‌ තිබෙනවා. ඒ බොහෝ ඩ්‍රෝන් යානාවල ප්‍රධාන අංගයක්‌ වන කැමරාවයි. මෙමගින් ගුවනේ සිට සජීවී ව නිරීක්‌ෂණය, වීඩියෝගත කිරීම හෝ ඡායාරූපගත කිරීම් කළ හැකියි.

03 August, 2017

විභාග භීතිකාවට පිළියමක්



විභාගයක්‌ ආසන්න වන විට විභාගයට මුහුණ දෙන අයට විභාගය පිළිබඳ බියක්‌ ඇත වේ . මෙය විභාග භීතිකාව/විභාග ආතතිය ලෙස හැඳින්වේ.මෙසේ ඇති වන බිය නිසාම විභාගය අසාර්ථක වීම මෙන්ම හිසරදයචර්ම රෝග හා මානසික පීඩා ද ඇති විමේ ප්‍රවණතාවය වැඩිය. ඇතැම් විද්‍යාර්ථීන්ගේ මතකය මේ බිය නිසා බිංදුවට බසින අවස්‌ථා ද ඇත. එනිසා කෙනකු විභාග භීතිකාව යනු කුමක්‌ දැයි හොඳින් අවබෝධ කර ගැනීම ඉතා වැදගත් ය. අනෙක්‌ අතට බියක්‌ ඇති වූවායැයි විභාගය මඟහැර යන්නට අපට නොහැකි ය. එසේ වුව හොත් පාඩු වන්නේ අපට ම ය. එනිසා කළ යුතු වන්නේ විභාගය හැර දමා පලා යැම නො ව බිය පරාද කිරීම ය.
කඩඉම් විභාග රාශියක් ජයගෙන විශ්වවිද්‍යාල වරම් ලැබූවද  සැබෑ කැප වීමක්‌ ඇති විද්‍යාර්ථියකුට පවා විභාග බිය ඇති විය හැකි ය. එය සාමාන්‍යය තත්ත්වයකි. විභාග බිය හේතු කීපයක්‌ නිසා ඇති විය හැකි ය. පළමුවැන්න නිසි ලෙස සූදානම් නො වීමයි. දෙවැන්න විෂය කරුණු නිසි ලෙස පරිහරණය කරන්නට නො ලැබීමයි. තෙවැන්න තමා අන් අය විසින් විනිශ්චයට බඳුන් කරනු ලබතැයි යන සිතිවිල්ල හා  මවුපියන් හා ගුරුවරුන් තමා ගැන තබන ලද විශ්වාසය බිඳ වැටේ ද යන්න නිතර සිතීමෙන්  ඇති කරගන්නා භීතිය ,සම වයසේ මිතුරු මිතුරියන් ගේ කතාබහ  පෙන්වාදිය හැක.''මං නම් මෙච්චර පාඩම් කළා. ඔයා තවම ඔතන ද?" වශයෙන් ඇතැමෙක්‌ අනෙකා ගේ සිත බිඳ දමති. එනිසා මිතුරා මිතුරිය කෙතෙක්‌ පාඩම් කර ඇත් දැයි අසන්නට යැමෙන් වළකින්න.
විභාග භීතිකාව ප්‍රබලව ම ඇති වන ප්‍රධාන අවස්‌ථාව වන්නේ ප්‍රශ්න පත්‍රය අතට ගන්නා මොහොතයි. එක පිට එක අමාරු ප්‍රශ්න දකින විට සමහරු ක්‌ලාන්ත වෙති. සමහරුන් ගේ දැස්‌ නිලංකාර වී යයි. පළමු ප්‍රශ්නය අමාරු එකක්‌ නම් එය අතහැර දෙවන ප්‍රශ්නයට යන්න. විභාග ප්‍රශ්න පත්‍රය සඳහා ලැබී ඇති කාලය නිසිපරිදි කළමණාකරණය කරගන්න. යහළුවන් ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන ආකාරය පිළිබඳ නොසිතන්න.තමා දන්නා කරුණු ක්‍රමවත් අයුරින් භාවිතයට ගන්න. යහළුවන් ප්‍රශ්න පත්‍රයට ලිව් හැටි අසන්නට යැම ද නො කළ යුත්තකි. එවිට ද තමා ගැන කලකිරීමක්‌ ඇති වීමට ඉඩ තිබේ. එසේ ම විභාගයට ඔන්න මෙන්න කියා තිබිය දී අලුත් විෂය කොටස්‌ ඉගෙන ගන්නට යන්නට එපා. එමඟින් දන්නා දේ ද අමතක වී යා හැකි ප්‍රවණතාවය වැඩිය.තමන් ගේ දක්‍ෂතාව ගැන යම් විශ්වාසයකින් සිටීම අවශ්‍ය ය. එහෙත් අධික විශ්වාසයත් එතරම් හොඳ නැත. අධික විශ්වාසය නිසා කෙනකු පාඩම් වැඩවලට උනන්දු නො වී සිටීමට ඉඩ ඇත. "මං දන්නවා මට පුළුවන් කියා. ඉතිං මොකට ද තව මහන්සි වෙන්නේ"යි සිතෙන්නට ඉඩ ඇත.නමුත් අවසන් මොහොත දක්‌වා පාඩම් කටයුතුවල යෙදීම සුදුසු ය.
විභාග කාලයේ දී එක දිගට පාඩම් කිරීමේ දී වෙහෙස ඇතිවීම සාමාන්‍යය. මේ කායික හා මානසික වෙහෙසින් මිදෙන්නට ඉඳහිට විවේකයක්‌ ගැනීම සුදුසුය. පැය දෙක තුනක පාඩම් කාලයකින් පසු මිනිත්තු පහකදහයක විවේකයක්‌ ගැනීම ඒ කාලය තුළ ගීතයක්‌ ඇසීම,ව්‍යායාමයක යෙදීම, ඉතා කෙටි වේලාවක්‌ ක්‍රීඩාවක යෙදීම ද සුදුසුය. එහෙත් විභාග කාලයේ දී රූපවාහිනි නැරඹීමට හෝ අන්තර්ජාලයේ සැරිසැරීමට හෝ යොමුවීම අවම කරලීම වඩාත් සුදුසුය. මන්ද ඉන් පිටතට ඒම අසීරු වන්නට ඉඩ ඇති බැවිනි.විභාග භීතිකාව දුරලීමට හොඳ ම ක්‍රමයක්‌ වන්නේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සපයාගෙන විභාගයක්‌ සේ සලකා ලිවීමයි. මෙය එතරම් අපහසු ක්‍රියාවක්‌ නො වේ. පෙනී සිටීමට බලාපොරොත්තු වන විභාගයට අදාළ පසුගිය ප්‍රශ්න පත්‍ර හෝ ආදරශ ප්‍රශ්න පත්‍ර කට්‌ටල ද සොයාගනිම්න් නියමිත කාලයට අනුව විභාගයකය උත්තර ලියනවා සේ මේ ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියන්න. තමා අවට විභාගයට අවශ්‍ය පරිදි විභාග පරිසරයක්‌ ගොඩ නගාගන්න.

විභාගය පැවැත්වෙන අතර දී යම් දිනක විභාග ප්‍රශ්න පත්‍රයක්‌ ලියා අවසන් වූ පසු ඒ ගැන හිතන්නට වීම,හිතීමෙන් සැනසීමට පත් නො වී ඇතැමුන් තමා ලියූ උත්තර හරි ද බලන්නට ද යති. ඒ සඳහා මිතුරන් සමඟ සාකච්ඡාවට මෙන්ම සටහන් පොත් බලන්නට ද යති. මෙමඟින් පාඩු දෙකක්‌ සිදු වේ. පළමුවැන්න වටිනා කාලය නාස්‌ති වීමයි. දෙවැන්න ඔබ යම් ප්‍රශ්න පත්‍රයකට අසාර්ථක ලෙස උත්තර ලියා ඇත්නම් ඒ ගැන දැන ගන්නට ලැබීමයි. එවිට ඔබට සිතට අපහසුතාවක්‌ ඇති වේ. එම අපහසුතාව ඔබ ගේ ඉදිරි ප්‍රශ්න පත්‍ර සාර්ථකව කිරීමට බාධාවකි. එදිනෙදා ලබා දෙන ප්‍රශ්නවලට හොඳම ලිවීම කළ යුතු මුත් ලිවීමෙන් පසු ලියූ උත්තර හරි ද වැරදි ද බලන්නට යැම  විභාග තිබිය දී මුග්ධ ක්‍රියාවකි.